Friday 10 March 2017

ලංකා ගමන - එරික් ඉලයප්ආරච්චි





    පළමු වර 2001 දි ප්‍රකාශ වූ, මා වඩාත් ප්‍රිය කරන සිංහල ලේඛකයකු වන එරික් ඉලයප්ආරච්චිගේ "ලංකා ගමන" කෙටි කතා සංග්‍රහය කියවූවෙමි. මේ වන විට ලේඛකයා ප්‍රකාශ කොට ඇති සියළු නවකතාත්, කාව්‍ය සංග්‍රහ තුනකුත් කියවා ඇතත්, මේ මා කියවූ ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහයයි. මේ සංග්‍රහය මහත් ලෙස සිත ට දැනුණු කතා පෙළකි. කොතෙක් ද යත්, මහජන පුස්තකාලයෙන් ගෙන  මින් පිටපතක් කියවා, 2015 ප්‍රකාශ වූ දෙවෙනි මුද්‍රණයේ පිටපතක් මිලට ගත්තෙමි. ඊට ප්‍රධාන හේතු කතුවරයාගේ බොහෝ නවකතා වල මූලයන් මේ කෙටි කතා ඔස්සේ ඉව කර ගත හැකි නිසාය.

  "ජපන් තෑග්ග" නම් වූ කතාවෙන් ආරම්භ වන කෘතිය,  වැඩිහිටියන් ගේ රැවටිලි පොඩි එවුන්ට හැඟෙනා අයුරු, මෙහෙකරු දැරිවියක් සහ සම වයස් දැරිවියක් අතර බැඳීම,  සුදුසු වෙලාවේදි ළමයකු ට පවා සමහර දෑ තමන්ගෙන් වසන් කිරීම හරහා ලොවින් වසන් කිරීම ආදී භාවයන් ඔස්සේ  ඇදී යයි.

  "පටාචාරා" නම් කෙටි කතාව ජයවර්ධනපුර සරසවියේ ජ.වි.පෙ ක්‍රියාකාරීන් සහ සැකකරුවන් පුනරුත්තාපන කඳවුරක සිදුවීමක් ඔස්සේ දිගැරේ. මෙහි ඔහුගේ බගන්දරා නව කතාවේ යම් මූලයන් ඇතැයි සිතේ. එහි එන චරිත අපට බගන්දරා නවකතාවේ එන පුනරුත්තාපන කඳවුරේ සමහර චරිත මතක් කරවන සුළුය. පිරිමින් පමණක් වසන කඳවුරක, ස්ත්‍රී රුවක් කෙරෙහි ඇති බලාපොරොත්තුව කෙටිකතාවේ ගැබ්ව ඇත.

 "නගර දෙකක කතාවක්" මෙහි එන ඉහළම තලයේ කෙටිකතාව ලෙස හඟිමි. ඒ සමගම  එහි බගන්දරා-විතණ්ඩ සමය-ආදරයේ සිමෙන්ති හි හමු වන මීගමුව, එහි එන පැරණි නගරය  චිත්‍රපටියක ආකාරයෙන් අප ඉදිරියෙන් ධාවනය වේ.ඉහත කී නවකතා කියවූවෙකු හට මෙම කෙටි කතාව හා පෙමින් බැඳීම නොවැළක්විය හැකි යැයි සිතමි. ඒ ඔහු මූලයන් භාවිත කරන මුත්, එම නවකතා වල නොපෙන්වූ "මීගමුවේ නාගරික හරස්කඩක්" අප හට ඉදිරිපත් කරන බැවිනි. අප අතර පැරණි මීගමු නගරය හඳුනන අය ඇත්නම් ඔවුන් මේ කෙටි කතාවට බැඳෙනු ඇතැයි සිතේ.  ( පිටගම්කාරයෝ ඔස්සේ රත්තනපිටිය, බෙල්ලන්විල ඔස්සේ මනෝ චිත්‍ර මවනාකාරයෙනි ).
"ටවුමේ කඩසාප්පුවලින් හරි අඩකටත් වඩා පිහිටා ඇත්තේ ස්ටේෂම ළඟ වටරවුමේ සිට තලෛමගල් අච්චු කන්තෝරුව දක්වා සැතපුම් භාහයක් තරම් දුරට විහිදෙන පාර දෙපසිනි. තනි කඩ, කඩ පේලි, තට්ටු කඩ, දෙබුක්කු, පේමන්ට් ආදි වශයෙන් ගොඩනැගී ඇති ඒ වටපිටාවේ ඇත්තේ පරණ පන්නයේ නාගරික පෙනුමකි. රත්‍රන් බඩු කඩවල පවා ඇත්තේ දීප්තියෙන් තොර කනස්සලු  ගතියකි... මුඩු බිම්  පෙදෙසක්  වූ ස්ටේසම පැත්තේ සිට දූවිළි සුළඟ හමා එන වාරයක් වාරයක් පාසා ටවුමේ ප්‍රාචින  පෙනුම දියුණු වෙයි. අන්තිම රත්‍රන් බඩු සාප්පුව  වූ ගෝල්ඩ් හවුසියට පසුව ඇත්තේ යකඩ බඩු කඩ පෙළකි. කඩවලින් එළියට ගන්නා වානේ දඟර කම්බි, වීදුරු, පීවීසී පයිප්ප, ඇස්බැස්ටස් තහඩු, සිමෙන්ති කොට්ට ආදී ගොඩනැඟිලි ද්‍රව්‍ය නිසා පාරේ ගමන ද අවහිර වෙයි. රැස් කකා බලා සිටින සෙනඟ  වට කර ගත් බොස්කෝ නැමැති වීථි මහාචාර්යවරයා, පිඹුරන් නටවන්නා, තෙල් බෙහෙත් වෙළෙන්දා වැනි චරිත නිසා ඇති වන අවුල් ජාලය සාන්ත පේදුරු පල්ලිය හමු වන තුරු ද පවතියි. මේ තදබදයේ කූඨප්‍රාප්තිය සිදුවන්නේ සිකුරාදා සවස් භාගයේ දී ය. ඊට හේතුව ටවුම මැද පවත්වන සිකුරාදා පොළ හා ඉංග්‍රීසි ටියුටරිය යි." ( 34-35 පිටුව )
  
මට නම් මේ විස්තරය ඉතා රසවත් ය. එලෙසම කෙටි කතාව මීගමුවේ පැවති එල්.ටී.ටී.ඊ සබඳතා දක්වා ඇදී යයි.

"සුනඛ සංහාරය" නම් කෙටිකතාව ඔස්සේ කොළඹ ධනවත් හා පහළ පාංතික නිවැසියන් ගේ වාසස්ථාන බොහෝ විට එක් වැටකින් වෙන් වන අයුරුත්,ඔවුන් අතර ඇති බැඳීම් සහ ගැටීම් පාදක කොට ගෙන  නිර්මාණය වූවකි. මේ කෙටි කතාව තුල ලලිත සමයේ ඉතා දුරස්ථ මූලයන් නැත්තේ නොවේ යැයි සිතුන ද ඒවා, අර පෙර කී අවස්ථා තරම් ශක්තිමත් නැත. ඉහළ පාංතිකයින් වෙනුවෙන් පරිසරය ශුද්ධ කරද්දි පාරේ වෙසෙන සුනඛයින් පමණක් නොව, අඩු ආදායම් ලාභි අසල්වැසියන් වෙත ද යොමු වන්නෙ වපර ඇස් ය.

  "මරණය ලුහුබැඳ" කෙටිකතාව මෙහි එන තරමක් වෙනස් ආකාර එහෙත්  එරික්ගේ "සළකුණු" සහිත කෙටිකතාවකි. පසුගිය වසර 30-40 අතර අප රට තිබූ ජීවිත රටා බෙහෙවින් වෙනස් වී ඇත. එම වෙනස්වීම ගණණකට නොගෙන පෙර ආකාරයෙන් වෙසෙන්නන් තවම අප තුල ඇත. ඊට අමතරව කතුවරයා, අප රට බොහෝ ක්ෂේත්‍රයන් හී සිදු වූ සිද්ධීන් පිළිබඳ දත් අයෙකි. මෙහි ඔහුගේ අවදානය යොමු වූ ඇත්තේ වැසී ගිය ඒරොෆ්ලොට් ගුවන් සේවයේ සේවය කල අති දක්ෂ, ඉංග්‍රීසි නොදත්, හිතුවක්කාර ගුවන් නියමුවන් වෙතට ය.

"ලංකා ගමන" කෙටි කතාව ද පහසුවෙන් අවදානය යොමු නොවෙන ඉසව්වක් වෙත කතුවරයා අවදානය යොමු කල අවස්ථාවකි. ඒ සමගම කතුවරයා ගේ අභ්‍යාන්තරයේ ඇති නොසිඳිය හැකි සමාජවාදි මූලයන් ද, ඒ පිළිබඳ ව ඔහු තුල තිබූ  සිතුවිලි වන වෙනස් වීමක් ද ඉඟි කරයි. අප රට පවුල් වශයෙන් කොමියුනිස්ට් වාදීව සිටි අය, අද වන විට දේශපාලනික වශයෙන් විවිධ මතවාද වලට එළඹ සිටියත්, කලෙක ඔවුන්ගේ කොමියුනිස්ට්වාදි කම ඔවුන්ට මහත් පුරාජේරුවකි. එලෙසම, යුරෝපීයාන් අපට වඩා පහසුවෙන් තමන් එළඹ සිටි මත වෙනස් කර ගැනීමට තරම් ගමනක මේ වන විට ඇවිත් සිටින බවත්, ඒ අතින් අප තවම මාන්නය කරපින්නා ගෙන සිටින්නෝ බවත් මෙම කෙටිකතාවෙන් නිරූපිතය.

 "සුදු කොඩිය"  මහිම ගොඩැල්ලේ ම ලියැවුණු, බගන්දරා ට සමාන්තර කෙටිකතාවක් ලෙස ය හැඟෙන්නේ. එලෙසම එහි චරිත, බගන්දරා හි එන සමහර චරිතයන ට සමානකම් පවත්වයි.

  "හොරු දෙන්නෙක්" මෙහි එන වෙනස් ආරක කෙටි කතාවකි. තරමක ත්‍රාසජනක ස්වරූපයක් හොබවන මෙය, අන් කෙටි කතා වල රසයනට තරමක් වෙනස් ආරක රසයක් පාඨකයා තුල ජනිත කරයි.

  "එක්තරා රටක වෙසෙන්නෙක්" කෙටිකතාව කියවාගෙන යද්දි, පරදේසි සිහියට නැගීම වැලැක්විය නොහැක. පරදේසි හි ජාත්‍යන්තර පරිසරය අපට හවානාහි හමු වේ; මේ ඊට ආසන්න එහෙත් වෙනත් අත්දැකීමක් ජපානයේ සිට ය. නවකතාකරුවෙකුගේ මනසේ වසර දහය-පහළොව ගැවසෙන, පෝෂණය වන නිර්මාණ මූලයන්, පසුව වැඩිවියට පත්ව, පරිපූර්ණත්වයට ලක්ව පූර්ණ ජන්මයක ලබයි. එවන් විටෙක එම නවකතා වල මුල් සිතුවිලි දැකින්නට ලැබීම සිත සතුටු කරවයි.

  රතනපාල නම් තරුණයකුගේ වස්තුව ද  රාත්‍රි අවන්හල් සංස්කෘතිය හා බැඳි අපූරු නිර්මාණයකි. මෙයත්, ජපන් තෑග්ග, මරණය ලුහුබැඳීම සහ හොරු දෙන්නෙක් යන කෙටි කතා, එරික් ගේ නිර්මාණ වල මීට කලින් අත්දුටු පරිසර මත ගොඩ නොනැගූ ඒවාය. අනෙක් වා කතුවරයාගේ වැඩිවියට පත් දරුවන් හඳුනන අයෙකු, කාලය ඔස්සේ අතීතයට ගොස් ඔවුන් කුඩාවුන් කල දැකබලා ගන්නා අයුරු ය.

  මේ කෙටි කතා සංග්‍රහය, එරික් ගේ අනෙක් කෙටි කතා සංග්‍රහ කියවීමට සිත් ජනිත කරයි.

ශ්‍රේණිය: ****

2 comments:

  1. අගනා විචාරයක්... නලීන්ද්‍ර දැන් පොත් කියවන අය ෆේස්බුක් ගෲප් එකෙන් ඉවත් වෙලාද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.

      නෑ, තවම එහි ඉන්නවා. කිසියම් දිනෙක මුහුණු පොතෙන් ඈත් වුවහොත්, ලියනා දේ අහිමි වන හේතුවෙන් මෙහි ද එහි පිටපතක් තබමි.

      Delete