Saturday 25 February 2017

අච්චාරු සහ තවත් කතා - විරාජිනි තෙන්නකෝන්



අච්චාරු සහ තවත් කතා - විරාජිනි තෙන්නකෝන්
=============================


විරාජිනි තෙන්නකෝන් ගේ කුළුඳුල් කෙටි කතා සංග්‍රහය වන "අච්චාරු සහ තවත් කතා" කියවූවෙමි. මෑතක කියවූ මහත් විවිධත්වයෙන් සපිරි කෙටිකතා අටක් මට මෙහි හමුවිය. ඒ කෙසේ ද යත්, අප අවිඥ්ඥාණකව කෙටිකතාකරුවකුට යම් වර්ණයක් ආදේශ කරන්නේ ද ( උදාහරණ - විජේමාන්න - මාපාකඩවැවේ සැඳෑ යාමයේ වර්ණය ), එවන් සිතුවිල්ලක් මට මේ ලේඛිකාව කෙරෙහි  ඇති නොවුණේ, එතරම්ම කෙටිකතා අට
විවිවධත්වයකින් සපිරි නිසා ය.

1- අච්චාරු - කෙතෙරම් ව්‍යඤ්ජන වලින් සපිරි බත් වේලක් තිබුන ද, අච්චාරුවක කට කාරන රසයකට ඇල්මක් ඇතිවන්නේ අපටත් නොදැනීම ය. ඉතින් සමහර ගැහැණු සිතක, පැරණි පෙමක ට අවසර පතන්නේ මේ අච්චාරුව සොයනාකාරයෙනි. අවදානම ඉදිරියේ, තම සිතට විනයක් ආරූඪ කරගැනීම, අවදානම පහ වූ වහාම, නැවත සිත හීළෑ නැති වීමේ ස්වභාවය ලේඛිකාව අපූරුවට ග්‍රහණය කොට ඇත්තීය.

2- තිර නොතිර: නිළියක් ආත්ම ගවේෂණයක යෙදෙන්නි සහ තමන් ළඟා කර ගත් සම්මාන, ජනප්‍රියතාව උදෙසා  ඈ ගෙවා ඇති මිල පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන්නි, ඒ සිතුවිලි ඔස්සේ යතාර්තයේ සීමවෙන් ඔබ්බට එබෙමිනි.  අපූරු නිර්මාණයකි.

3- කන් පෙති මත: වසර ගණණාවකට පෙර තමන් හදා ගැනීම අත් හළ, සරණ බන්ධනයෙන් මෙපිට උපන් දැරිය තම සත්‍ය මව සොයා ලංකාවට එන්නීය. මිනිස් සිත අපූරු එකකි. මේ දැන් නොතිබෙන බැඳීමක් එක් කුඩා ශරීරලක්ෂණයක් දැකීමෙන් කණ පිට පෙරළීමට ලක් ව, මහා බැඳීමක් දක්වා වෙනස් විය හැකිය.

4- බලු කතාවක්: "උන් පුදුම බැල්ලියො මැඩම්. උන්ට පැට්වු ඕනි නෑ. මේ වගෙ ලොකු වර්ගෙ බැල්ලියො පැටවුන්ට ආදරේ නෑ මැඩම්" - නූතන, නාගරික, වෛවාහික, රැකියා නියැති, ඉහළ පාංතික කාන්තාව පිළිබඳ, කාන්තාවකගෙන්ම ලියැවුණු අපූරු කියවීමකි.

5- චිත්ත වග්ගය - හුදෙක් කතාවක් වශයෙන් මෙහි එන සංකීර්ණ ම කෙටි කතාවයි. සිතක් වරදෙහි බැඳීමට කෙතෙරම් නැඹුරු දැ යි කෙටි කතා කිහිපයක් තුලින් ම පෙන්වා දුන් කතුවරිය, මිනිස් සන්තාවයේ දරු පෙමට සීමා නැති බවත්, වරෙක පති භක්තිය කෙතෙරම් අපූරු දෙයක් ද යන්නත්, වරදෙහි බැඳුනු කෙනා සිතින් කෙතෙරම් දඬුවම් අත්විඳින්නේ ද යන්න ත් පිළිබඳව අපූරු ගෙත්තමකි.


6- නාග බන්ධන - අප රට බුදුදහම, දේව වන්දනාව ඉදිරියේ කෙතෙරම් අවාසනාවන්ත ඉරණමකට ලක්ව ඇතැයි යන්න මතුපිට කියවීමක් ලෙසත්, ව්‍යාජය ඉදිරියේ සත්‍ය කෙතෙරම් අවතක්සේරුවට ලක්වන්නේ ද යන්නත් පිළිබඳ අපූරු  නිර්මාණයකි. ඉහත කෙටි කතා පහට සපුරා ම වෙනස් ය.



7- මණ්ඩුක සහ උපාසක: ගිහි ජීවිතයේ වේවා, පැවිදි ජීවිතයේ වේවා, ආශාව ඉදිරියේ මිනිස් සිතේ ව්‍යාකූලත්වය, එය කෙතෙරම් ශුද්ධ කරන්නට තැත් කල ද, පිට මං කරන්න කරන්න, නැවත ගෙතුලට රිංගන ගෙම්බකු මෙන් සිත අභ්‍යන්තරයට ආශාව රිංගන අයුරු  පෙන්වන දාර්ශනික අංශයට වඩා ආනත කෙටි කතාවකි.

8-මුස්නය මත දැවටි - කිසාගෝතමිය නිබ්බුත පද වදාරණ චිත්තය ඔස්සේ නිමැවුණු අපුරූ ම නිර්මාණයකි. මෑතක බෞද්ධ සංස්කෘතිය ඔස්සේ කියවූ ඉහළ ම තලයේ කලා නිර්මාණයකි.

අවිවාදයෙන් මෑතක කියවූ අපූරුතම කෙටි කතා එකතුවකි. මා ඇත්තෙන්ම මේ පොත අත ට ගනිද්දි මෙවන් අගනා නිර්මාණ මෙහි වෙතැයි බලාපොරොත්තු නොවුනෙමි. එහෙත්, 2017 වසරේ අප රට විවිධ වූ කෙටි කතා සංග්‍රහ උදෙසා වන සම්මාන උදෙසා මෙය අවම වශයෙන් අවසන් වටයට හෝ පැමිණේවි යන්න මගේ අදහසයි. මෙහි කෙටි කතා බොහෝමයක් මතුපිටින් සරලය. එහෙත්,  ඒ තුල අප සැමට පොදු සිතුවිල්ලක් හෝ, ඓතිහාසික චරිතයකට ඇති වුණා යැයි විශ්වාස කල හැකි ආරේ සිතුවිල්ලක්, හෝ මගින් පෝෂිතය. ඉහත කී 1,4,5,8 යන නිර්මාණ වෙසෙසින් ඉහළම තලයේ නිර්මාණ ලෙස විශ්වාස කරමි.

    නන්දෙඩවිල්ල - මා මේ කෙටි කතා සංග්‍රහය කියවීමට පෙළඹුනේ, කතුවරිය ඉන් පිටපතක් මට තෑගි කල නිසා ය. නැතහොත්, මේ වසර තුල අවම වශයෙන් මෙම සංග්‍රහය කොහොමටවත් නොකියවෙනු ඇත.  (එහෙත් මෙය අනාගතයේ මහත් කතාබහට ලක්වීමට සංග්‍රහයක් ලෙස විශ්වාස කරන හෙයින්, 2018 කියවීමට පොත් තෝරා ගන්නා විට බොහෝ විට කියවීමට ඉඩ තිබිණි.)  කෘතිය පිටු අසූ ගණණකට සීමා වූ නිසාත්, තැනින් තැන ලැබෙන විනාඩි 15-20 විරාමයන් භාවිත කොට ඇඟට නොදැනෙන්න, මහත් මසුරු ලෙස වෙන්කොට තබාගෙන ඇති දිනකට ලැබෙන පැයක හෝ, හමාරක "කියවීමේ කාලය" කාලය භාවිත නොකොට මේ කෙටි කතා පොත කියවා හමාර කලෙමි. ( මීට සමගාමිව Jhumpa Lahiriගේ "The Interpreter of Maladies " පොත තනිකරම කියවා හමාර කලේ දිනකට යෙදෙන විනාඩි 35-40 පමණ දුම්රිය ගමන තුලදී ය. නීල් ගේමන් කියවනවා නම් කියවෙන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයෙන් පමණක්ම ය; ඒ ඔහු විසින් ම කියවන ශ්‍රවණ පොත්, අසා සිටීමට රුකුල් දෙන නිසා ය. ) ඒ ඒ මාධ්‍යයෙන් හා කාලවේලාව අනුව  කියවිය යුතු ඒ ඒ පොත් ඇතැයි මම මින් හඟිමි. මේ දිනවල කියවන නදීගේ වුල්ෆැන්ඪාල් ස්ට්‍රීට් සහ කැෆ්කාගේ "The Castle" කුමන විදිහට හෝ මේ විනාඩි 15-20 විරාම තුල කියවිය නොහැකිය. මේ කොටස මෙම කෘතියට  පමණක් අදාල නොවුන ද, දිනෙන් දින අපට කියවීමට ඇති කාලය අඩුවන වටපිටාවක, කියවීමට වඩා පහසු පොත් ( ඉන් එහි අවතක්සේරුවක් නොකෙරේ. Lahiriගේ පොත කියවීමට පහසු වුව ද  එය නිසැකයෙන් ම ශ්‍රේෂ්ඨ නිර්මාණයකි. ), වඩා අවතක්සේරු කල කුඩා කියවීමේ "කාල-කවුළු" වලට යොමු කල යුතු ‍යයි සිතෙන නිසා කියා පෑවෙමි.

No comments:

Post a Comment