Saturday 14 January 2017

තිදස - සේපාලි මායාදුන්නේ




( හොඳම නවකතාව - රාජ්‍ය සාහිත්‍ය සම්මානය - 1997 )

        මේ නවකතාව, රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ නවකතා කියවීමේ මගේ උනන්දුවෙන්, කොළඹ මහජන පුස්තකාලයේ තිබෙනු දැක, කියවූවෙමි. ගොඩගේ පොතක් වන මෙය, අද වන විට මුද්ර්‍අණයේ ඇතැයි නොසිතමි.

විසිවන සියවස මුල් දශකයේ පමණ අවිස්සාවේල්ලට නුදුරු, එහෙත් බෙහෙවින් ගම්බද ප්‍රදේශයක තතු මුල් කොට ගෙන ගෙතුණකි. කතුවරිය එම කාලයට සහ ගම් පෙදෙසට ඉතා උචිත බසක් මැ භාවිතා කරන්නීය.
"අර තෙලිජ්ජ බීපු උගුඩුවෙක් අල්ලාන ඌ මස්කර ගත්ත... කොහෙද.. හ්... අපේ ආරච්චියට ඒවා අරහං කියන්නේ... එයින් මෙයිං මටත් ඒකෙං පොඩ්ඩක් කන්ඩ පින නැති උණා. මං ඉතිං ළඟම තියන ගේනෙ කියල ඒක ඒමිසාට ගොහිං දුන්නා..."
මේ දෙබස් අප කතානායකයා වන සලොංචියාගෙනි. ගත වෙහෙසා වැඩෙහි දක්ෂයෙකු මෙන්ම කලාව ද යම් දුරකට පිහිටා ඇත්තෙක් වූ ඔහු, තම වැඩිමලු සහෝදරයා ගෙනා කතක් හා එකගෙයි කෑමට සිද්ධ වීමෙන් දුකට පත්වූවෙකි. අයියාය කියා බොහෝ දුරට කරබාගෙන නිසා ම බොහෝ සේ අසාධාරනයට භාජනය වන ඔහු, ගැමියන් බොහෝ වන්දනාමාන කරනා රුක්කත්තන ගසක් ද ඇති, අසල කඳු ගැටයක තමන් ම තෝරා ගත් ගැමි කතක් සමඟ පැලක් සිටුවාගෙන, හැකි තරමින් කටුසර බෝග වගා කරමින් යැපෙන්නේ, අය්යියා ඔහුට බිම්මඟලක් හෝ නොදීමත්, නීතිය ද සලොංචියාගේ පිහිටට නො ඒමත් නිසා ය. ගොයිතැනට දක්ෂ වුවෙකු වුව ද, පරිසරයේ සියුම් සමීකරණ නොදත් ඔහු ගේ ක්‍රියාකලාපය නිසා ඔහුත්, ඔහුගේ පවුල වූ ජය මැණිකාත්,  කන්ද පහල වෙල්යාය අස්වද්දන් කාපු ගැමියන් බොහෝ දෙනෙකුත් මහත් ව්‍යසනයට ලක් වන්නෝය.


"මිනිස්සු ඉන්ඩ ඕනෙ වටාපිටාවත්තෙක්ක හරකයි විය ගහයි වායෙ බැඳීගෙන... ඒ බැඳීම නැවතිච්ච ගමංම කරත්තෙ ඉස්සරහට ගමං කොරන එක වැලකිනව... ඔරු කන්ද මේ සම්මජ් ජාතියේ අස්වද්දපු තැනක් නෙමෙයි... මං උඹට දොස් කියන්නේ නෑ සලොංචි ළමයෝ... උඹට ජීවත්තෙන්ඩ ඉඩක්කඩක් නැතුව ගියාම මොකෝ උඹ පාරට බහින්ඩයැ... ඔය කොහේ හරි අහු මුල්ලක් එළි පෙහෙළි කොරගෙන උඹත් පැලපදියං වෙන්ඩ ඕනෙ නොවෙඤ්ඤං... උඹලයෙ ආරච්චි අයිය, ආගිරිස, සාරලිසා ඉඳලම හැම එකායෙම වැඩි තණ්ණාසෙ  හන්දා ඒ ඔක්කෝම වම්පරස් උණා... "
නවකතාව මිනිසා හා පරිසරය පිළිබඳ ඇති බැඳීම සහ සමබරතාව මතුකරතත්, ඒ නවකතාව ට මුඛ්‍ය පරිසරය, කාලය, ගැමි දිවි පෙවෙත හා සුඛනම්‍ය ලෙස වෙළී ඒ දේ සිදු කිරීමට කතුවරිය සමත් ව ඇත. 

එලෙස ම  ගමෙන් පීඩා විඳ ඉන් බැහැරට යන්නන් ද එක්කාසු වන්නේ ව්‍යාජ ලොවකට බව කතුවරිය අඟවන්නේ, සලොංචියා කොළඹ යෑම ගැන සිතුවිල්ලක් තුලින් ය. ඒ මෙසේ ය,
"කොළඹ ගමනේ මුල් පියවර සමඟ ම අත්විඳින වංචාව ඇස ගැටීමෙන් සලොංචියා බෙහෙවින් ම කළකිරීමට පත්විය. මේ සියල්ලෙන් ම අඟවන්නේ ඉදිරියට දිගින් දිගට තමා අත්විඳින වංචාව හා ව්‍යාජය යැයි ඔහු සිතුවේය. එහෙත් ගමේ නතරවී සිතින් දුක් විඳින් අතීත මතකයේ ඉදිරි වසර ගණනාවක් ජීවත්වනවාට වඩා ඒ ව්‍යාජයට ඔහු ල\වීමට ඔහු හිත හදා ගත්තේය. එවිට හොඳ හෝ නරක වුව ද පරිවර්තනයකට වුව ද ඉඩ තිබේ."

අප රට උක්ත කාලයේ සිදුවීම් ද පසුබිම් පරිසරයට එක්කාසු කොට ඇත... ධර්මපාල තුමා ගේ රට පුරා ගමන්, සේනානයක  මුල පිරූ ගොවි තරඟ, වාමාංෂික ව්‍යාපාරය ආදිය එහි පසුබිම් පරිසරයේ වෙත්. සලොංචියා අවසනේ ගමැතර යන්නේ, මේ වාමාංෂික ව්‍යාපාරයට ගමින් ගොස් බැඳුන අයෙකු ගේ බසකට අවනතව, ඔහුට වෙන් අන් බලාපොරොත්තුවක් නැති නිසා ය. මෙහි බොහෝ තැනෙක පරිප්පු මහත්තෙයෙකු ගැන සඳහන් වේ - ඒ ද පසු බිම් චරිතයක් ලෙසට ය. ඒ කවුදැයි නොදනිතත්, ඒ බොරළුගොඩ සිංහයා විරුදාව ලත් පිලිප් ගුණවර්ධන දෝ සැක මතු විය. එහෙත් ඔහු ජන්මය ලබා ඇත්තේ 1901 දී ය; ධර්මපාල තුමන් කලුරිය කලේ 1933 දීය. ඉතින් මේ දෙදෙනා එකම කාලයේ ක්‍රියා කාරි වූ යුගයක් නොවූ තරම් යැයි සිතමි.



කියවිය යුතුම ආරේ පොතක් ලෙස නොදකිමි. අද වන විට සිංහල සාහිත්‍යයේ අග්‍රගණ්‍ය කතෘවරියක් බවට පත්ව ඇති මේ ලේඛිකාවගේ මුල් කෘති අධ්‍යයනය කරන්නකු නම් කියවිය යුතු පොතකි. එහි සාහිත්‍ය රසයත්, ඉතිහාස රසයත්, පරිසර හිතකාමි පණිවුඩයකුත් ඇත. ඉතා කුඩා අකුරින් මුද්‍රණය වී ඇති එතරම් අපැහැදිලි පිටපත නම් කියවීම මදක් ආයාසකාරි කරයි. මා කියවුයේ 1997 දී ප්‍රකාශ වී ඇති පිටපතකි.


(ඡායාරූප - පුස්තකාල පිටපතේ ඡායාරූපය සහ පසුකවරයේ ලේඛිකාවගේ රූපය රැගත් ඡායාරූපය )

    

No comments:

Post a Comment