Sunday 4 December 2016

සේරංගාව - සඳරුවන් ලොකුහේවා



    ආදි වාසීන් සහ නිල්ගල,බින්තැන්න, දිගාමඩුල්ල ආශ්‍රිත ජන ජීවිතය පිළිබඳ පරීක්ෂණ කෘති ගණණාවක් ලියා ඇති සඳරුවන් ලොකුහේවා, තම විෂයාශ්‍රිතව ම ලියා 2015 දී ප්‍රකාශ කල සේරංගාව නවකතාව කියවුවෙමි. එය කියවීමට හේතු වූයේ, සිංහල පොත් කියවන අයට ඇතුවත් බැරි- නැතුවත් බැරි රංජන අමරරත්නගේ විචාරයයි. මේ අවස්තාවේදි, එය බොහෝ මධ්‍යස්ථය.   සේරංගාව වූ කලි කුණාටුව ට උක්ත පෙදෙස් හි භාවිත වදනකි. මිනිස් සන්තානයේ කෙලෙස් බරැති බවත්, වරදෙහි ම බැඳීමේ නොනිත් ආශාවත් සන්සිඳුවා ගත නොහැකි බවත්, යන සදාකාලික සත්‍යයන්  පදනම් කොට ගෙන ලියැවුණු රසවත් නවකතාවකි. මෙහි එන සියල්ලෝ යම් සේ තම දිවි නිවැරදි මගට ගන්නට උතසාහ ගත්තේ නම්, එ වැරදි මග ගොස් අච්චු ලැබීමෙන් අනතුරුවය. කිහිපදෙනෙකු ම තම දිවියෙන් ම වන්දි ගෙවුවෝ ය. කාමාශාව, යමක් කමක් හරි හම්බ කර ගැනීමේ ආශාව ආදි ආශාවන් වෙනුවෙන් බොහෝ දේ කිරිමට නොපසුබටනා මේ කැළෑ ගම්මාන වල වෙසෙන ජනයා එහි අයුතු ප්‍රතිපළ විඳින්නෝය. සේරංගවක් ලෙස එම කෙලෙස් සුළියට ඔවුන් ලක් වන්නෝය. (මෙයින් කිසි ලෙසකින්, නාගරිකයින් මෙම කෙලෙස් වලින් මෑත්ව වසන බවක් නො ඇඟවේ. ඔවුහු වඩාත් සූක්ෂමව, සැලැසුම් සහගත වැ, විටෙක මහත්වරු-නෝනාවරු ස්වරූපයෙන් මෙම කෙලෙස් වල ම බැඳෙන්නෝය. )

නවකතාව කියවාගෙන ඉදිරියට යෑමේ දී පාඨකයාට අරුත් යන මුඛ්‍ය කාරණාව නම්, ප්‍රාදේශීය කැළෑ ගම්මාන සහ වැදි ජනයාගේ ජන වහරයි. සියළු දෙබස් මේ කැලෑ සහ වැදි වහරෙනි. නුමුත් මේ බස දෙබස් වලට සීමා නොවේ. ඒ ඒ පිටුව පහළින් අපැහැදිලි වදන් උදෙසා පහසුවක් වෙතත්, කෘතිය කියවාගෙන යාමේදී, යම් තරමකින් මේ භාෂාව සඳහා පාඨකයා හුරු වෙයි. පහළ නිදසුන සෑහේ:
"මො කොයි වෙලාවක හරි පොලෝසියේ එවුන් කොටුකේ ගෙන යනවා. උන් වන්ගියක් මා හොයාන ඇවිත් මා අල්ලා ගන්ට බැරුං ගියා. ඒ,. ත්,. මේ වංගියේ ඔයි තාසින්නා මෙලාටත්,. ආරච්චිලයට පැමිණිලි කේළා ඇති. නඟා වහංවෙලා එද්දින් කාසි ටිකයි, රන් රිදී බඩු ටිකයි ඇන්න ආව එකේ පළිය ඕකා ගන්නවාමයි." (180 පිටුව ).
මෙහි දෙබස් වල සමහර තැනෙක යෙදි ඇති ",." ලකුණු කෙරෙහි අවධානය යොමු කලෙමි. එතැන් හි ඇද ඒ ස්වර හඳ නැගුවොත් මේ දෙබස් වඩා රසවත් වනවා පමණක් නොව, මීට දශක තුනකට වැඩි කලෙක මා දෙමාපියන් සවන් දුන් මුවන් පැලැස්සේ ආරච්චිලා, කදිරා ආදීන්ගේ කතා ස්වරූපය මතක් කරවන සුළු ය.  

මෙහි ප්‍රාදේශීය අර්ථනැංවීම් ද තැනෙක දෙකක වෙයි. මේ එබන්දකි:
"ඩිංගාගේ එකී සුදු කුමී මහ වඳී කියන ගැරහිල්ලෙන් ගොඩ ගියාට, කෙහෙකන් වඳී කියන ගැරහිල්ලෙන් ගැලවීමට නම් තවත් දරු පැටියෙක් වදන්ට ඕනෑ ය. දෙවෙනි වාරෙට වැදුවත් ඒකිට දෑගල් වඳී කියන පටබැඳිනාමෙන් බේරෙන්ට බැරුවා ය. ඒකෙන් බේරෙන්ට ගොහුන් තුන්වෙනි දරුවාත් වදා ගත්තත් 'ලිග්ගල් වඳී' කියනවා ය. ඔන්න හතර වැනි එකා හරි ඒකි හරි  වදාපි නම් තමා ගමේ එකීලාගෙන් බේරුමක් ලැබෙන්නෙ" ( 28 පිටුව )

තව තැනෙක "කිරිමාපොළේ" යන්න අර්ත දැක්වෙන්නේ මෙසේ ය:
"කුළුදුලේ කොල්ලා එහෙ වෙද්දින්, දෙවෙමියා මහ එකාටත් වඩා මහත දෙහෙතට මෝරා හැදීගෙන එන්නේ ඌ කිරිමාපොළෙ එකා හින්දා ය. කුළුදුලේ එවුන් වැඩිමනත් සොබාවෙන් ම කේඩැරියන් ය, සෝමාරියන් ය. ඒ උන්ට හරිහමන් කිරි එරෙන් නැති හින්දා ය. ඊළඟ එකා වදන කොට අරෙයි, කෝඩු තන උක්කුං තනවිලා ය. ඇයි ඉතින් තන පුඩුව කටින් උරල උරලා ගාණට හැඩ ගැන්විලානේ. දෙවෙනි එකා බඩට එන කොට තන ගෙඩිය මඇහත්වෙලා පුඩුව සූප්පු කේන්ට.. කේන්ට.. හොඳ ගානට හැදී එනවා. වී බිස්සට වී පිරෙව්වා ම වගේ තන මල්ල පිරෙන්ට කිරි එරෙන හන්දා, කිරිමාපොළේ කියන්නේ කිරි මුකරපු කාලෙ කිරි බීපු හින්දාවට ය." (84 පිටුව )

මෙහි එන චරිතයන්ගෙ අවග තුග ද විවිධ ය, එලෙස ම කියවීම ට රුකුල් දෙයි. දඩයක්කාරයා ප්‍රධාන චරිතය යැයි පෙනේ. ඔහු ඔහුට ම ආවේණික ලෙස තම දිවිය සරි කර ගත්තේ වුව ද, ඔහු විශ්වාස කරනා සාධාරණත්ව මත පදනම් ව ය. තාසින් මුදලාලි, සියළු දෙනා රවටා තම මඩිය තර කරගන්නවා පමණක් නොව, කාමාෂාව ද සන්තෘප්ත කර ගන්නේ අන් අයට දුක් දෙමිණි. මෙහි එන වරදෙහි බැඳෙන බොහෝ ගැහැනුන් පසුතැවිල්ලෙන් නැවත යහමගට ඒමට යත්න දරන්නෝ ය. කතුවරයා නැවත නැවතත් මතු කරලන එක් කරුණක් නම්, වැදි කැකුළියන් කැකුලෙකු කැන්දන් ආ පසු, බොහෝ විට ඉන් එපිට පුරුෂ ආස්‍රයක් නොසොයන බවකි.

මෙයත්, අනුලා විජේරත්න මැණිකේ ලියූ "වැසී ගිය පෙත්මං"  කෘතියත් 2016 කිසිදු සම්මාන විනිශ්චයක දී අවසන් පූර්ව වටයකට හෝ ඒමට අසමත් වූ කෘතීන් ය. එහෙත් ඒ කෘතීන් දෙකම මා රස වින්දෙමි. සමහර විට සාහිත මණ්ඩල මගින් සොයනා නවකථාවක නැවුම් මාතෘකා ආදි වූ යම් යම් දේ මේ නවකතා වල නැතුවා විය හැකිය. හුදෙක් සාහිත්‍ය ශාස්ත්‍රීයත්වය ට ම නතු නොවී, කෘතිය කියවීමෙන් මා යම් රසයක් වින්දේ ය යන කරුණ මත පදනම් ව යමක් පවසන්නේ නම් මේ කෘතීන් දෙකම, පාඨකයන් සිත්ගන්නා සුළු නිර්මාණ බව කිව හැකිය. දුර්වලතාවක් ලෙස පවසන්නේ නම්, මෙහි සමාප්තය තරමක් ඉක්මනින් කර ඇතුවාක් මෙනි. 

ලොකුහේවා තුලින් පළපුරුදු නවකතාකරුවකුගේ සියුම්බව දැක ගත නොහැකි වීමට පුළුවන. එහෙත් කුතුහලය සහ කතා පුවතෙහි සිත්ගන්නා සුළු බව මගින් හෙතෙම පැසසිය යුතු තරමේ නිර්මාණයක් සිදු කොට ඇත. මේ කෘතියේ සරසවියේ පිටපත් ඇති තරම් විකිණීමට තිබේ. මිල දී නොගත්ත ද, පොත කියවීමේ අවස්ථාවක් ලදහොත්, මෙය නොකියවා නොහිටන ලෙස කියමි.

No comments:

Post a Comment