Saturday 23 July 2016

රතු කමිස සහ වෙනත් කතා - සුනේත්‍රා රාජකරුණානායක

2015 රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ අවසන් වටයට තේරුණු ( තහනම් ගහේ ඇපල් සහ කුරිරු සුරංගනා කථාවක් සමඟ ), ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායකගේ "රතු කමිස සහ වෙනත් කතා" නම්, ඉතා ලඝු සහ තරමක් දිගු, කෙටි කථා එකොළසකින් පිරි, සංග්‍රහය කියවූවෙමි. මා ආරම්භයේදීම කෙටි කථාවේ දිග ගැන සඳහනක් කලේ මා සතු දෙවෙනි මුද්‍රණයේ "ප්‍රියවදනක්" තෙපලන කතුවරිය, කෙටි කථාවත් එහි ලඝු බව හෝ විස්තීර්ණ බව හෝ ගැන සාකච්ඡා කරන හෙයිනි.ඇය වෙසෙසින් ජාත්‍යාන්තර කීර්තියට සපැමිණි, නෝබෙල් සාහිත්‍ය සම්මානනීය ඇලිස් මුන්‍රෝගෙ කෙටි කථා දෙකක් නිදසුනට ගෙන ඒවා ලඝු වූයේ නම් එහි සාරත්වයේ වට්ටම් වීමක් විය හැකි බැව් පෙන්වා දෙන්නේ, මුන්‍රෝ ගේ සමහර විසතර කෙටිකථාවට ඍජුව අසම්බන්ධ මුත්, සමස්ත වශයෙන් කෙටි කථාවේ රසාස්වාදයට එහි යම් දායකත්වයක්  පසක් කරමිනි.

කෙසේ හෝ, මෙහි එන කෙටි කථා තුනක් පිටු දහයක ට අඩු ය.. "බෝණික්කාගේ මරණය" නම් වූ කෙටි  කථාව පිටු පහකි. සිංහල-දෙමළ මිශ්‍ර පවුල් වටපිටාවක, කුඩා ළමුන් අතර ඇති වන ගැටුමක ට නිතැතින් ම බාහිර ලෝකයේ දේශපාලනය අවිහිංසක විදිහට හෝ ඇතුලත් වීමත්, එවන් වටපිටාවක දෙජාතියේ නෑයන් නිරුත්තර වීමත් යන කාරණ ඇඟවෙනාකාරයෙන් ලියවුණු කෙටි කථාවකි.

අනෙක් කෙටි, කෙටි කථා දෙක වන "දියුණුව" සහ "ස්ත්‍රී ලෝලියා" යන කෙටි කථා දෙක සැලකුවහොත්, පළමුවැන්න වත්මනෙහි පන්සල් වල සිදුවන භෞතික දියුණුව ප්‍රශ්ණ කෙරෙන අතර, ස්ත්‍රීලෝලියා අප සමාජයේ වසනා එක් පිරිමි කොට්ඨාශයක් කෙරෙහි උපහාසය මුසු උපෙක්ෂක නෙතකින් ලියැවුන්නකි. ස්ත්‍රිලෝලියා මෙහි එන කෙටිකථා වලින් වඩා රස විඳිය හැක්කකැයි හඟිමි.

හාස්‍ය ගුණය මතුවනාකාරයෙන්, ලියැවුණු කෙටි කථා මෙහි කිහිපයක් වන අතර සාපෙක්ෂ වශයෙන් කෙටි යැයි ගිණිය හැකි පිටු එකොළහකට සීමිත "ලොකු හොරු සහ පොඩි හොරු" කෙටි කථාව ද, "කබලෙන් ලිපට වැටීම", සහ අප ව ආරක්ෂා කරන්න නියමිත අයගේ "හොර වැඩ" ගැන හාස්‍ය රසයක් මතුකරනාකාර කෙටි කථාවකි. රතු කමිස කෙටිකථාව ද සියුම් දේශපාලන සත්‍යයක් මතු කරමින්, ධනවාදියා සියල්ල තම වාසියට හරවා ගැනීමට සූක්ෂම වද්දි, සමාජවාදියා වඳ වන සතෙකු මෙන් තම ප්‍රතිපත්තියේ පමණක් එල්ලි සිටීමේ සත්‍යතාව, හාස්‍ය රසය මුසු, දේශපාලන දර්ශණයක් හඟිමින් ඉදිරිපත් කර ඇත්තේ ලෙඛිකාවගේ නිර්මාණාත්මක හැකියාව විදහා දකවමිනි.  මා ප්‍රිය කල කෙටි කථාවකි.

සමාජවාදි දේශපාලනය ට නූතන සමාජයේ ලක් වී ඇති ඉරණම සහ ආදර්ශ සමාජවාදීයා, තම වටපිටාවේ සිදුවන දෙයට සංවේදි නොවී වෙසෙනාකාරය, පවුල් සංස්ථාවක් තුල ට ආරෝපනය කරමින්, ඒ ඔස්සේ යම් හාස්‍ය රසයක් ද,'  "අඹු-සැමියන්ගේ රණ්ඩු ආරවුල් බත් මුට්ටිය ඉදෙන කල් පමණයි" යන පැරණි කියමන සනාථවනාකාරයෙන් ද, තම නිර්මාණ කෞශල්‍ය මතුකරමින් ලියවුණු තවත් රසවත් කෙටි කථාවකි, "වෙහෙසබර සෙනෙහස".

මා සාපේක්ෂ වශයෙන් අඩු රසවින්දනයක් ලත් කෙටි කථාවකි, සුන්දර භාර්යාවෝ. දකුණු ආසියාතික භාර්යාවකට කොයි සංස්කෘතියේත් අඩු වැඩි වශයෙන් "කොන්ද කැඩෙන්න ගෙදර වැඩ" තිබීමේ සත්‍ය මතුකරලීමෙන් ඔබ්බ ට ගොස්, දීර්ඝ විස්තර සහිත දකුණු ඉන්දීය සංචාරයක් බවට දිගහැරී ඇති කෙටි කථාව පාඨකයා තරමක් වෙහෙසවන සුළුය. පිටු විසි හතකට පමණ දිගහැරි ඇති කෙටි කථාව, කථා රසයට බාධාවක් නොවී ඉන් බාගයකට පමණ අඩු කරලීමට තිබුණි. ලේඛිකාව මින් තම "ඇලිස් මුන්‍රෝ" මොහොත සෙවුවේ නම්, ඉතා පැහැදිලිව මේ කෙටි කථාවෙන් ඉන් නොලද්දීය.

එහෙත්, මේ කෙටි කථා සංග්‍රහය තුලින් ම ඈ තම "ඇලිස් මුන්‍රෝ" මොහොත ක්ෂාත් ක්ෂාත් කර ගන්නී ය. ඒ පිටු තිස් හයක් පුරා දිවෙන, මේ සංග්‍රහයේ අග්‍ර ඵලය ලෙස ඇඳින්විය හැකි "යුක්තේශ් ගේ අම්මා" කෙටි කථාව මගිනි. නැවතත් සිහළ වටපිටාවක වෙසෙන, දෙපැත්තෙන්ම බැට කෑ සාමාන්‍ය දෙමළ පවුලක, තනි වූ අම්මෙකු තම අතුරුදන් වූ පුතු එනකං තම ජීවිතාශාව පවත්වාගෙන යනයුරු පැවසෙන සෝබර කථාන්දරයයි. මෙය ඇත්තෙන්ම විශිෂ්ඨ නිර්මාණයකි. අන්තර් ජනකොට්ඨාශ සබඳතා  ගැන ඉතා හොඳ කියවීමක් මෙහි ඇත්තේ, ගැහැණියගේ පොදු  ඉරණම, ජන වර්ග අතර ඇති ප්‍රශ්ණයෙන් ඉදිරියට පොළා පනිනාකාරයෙනි.

මෙහි එන අනෙක් කෙටි කථා ගැන සාරාංශ කරන්නේ නම්, මදුරු සුනිල්, තමන් සම්බන්ධ වූ ආත්මය අඳුරු කරන එක් සිදුවීමක ට තමන ට හැකි අයුරින් ණය ගෙවීම ට අවස්ථාවක් ලත් විට එය සිදු කිරීමෙන් මහත් සතුටක් ලබන්නේ ය. ඒ කථාවේ දී ද අවශේෂි කාරණා කෙටි කථාවේ රස වර්ධනයට යොදා ගෙන තිබේ.

සමථය, වත්මනෙහි බවුන්වඩන්න සිතැත්තෙක් හෝ සිතැත්තියක ට බාහිර සමාජයෙන් එන බධා පිළිබඳ ලියැවුන්නකි.

විශ්‍රාමිකයා, වෘත්තීය සික්ෂණය ට නිවාඩුවක් ලැබුණු කල, මිනිසාගේ සැබෑ ස්වරූපයේ මතුවීම, මගින්, මනිස් සිත පිළිබඳ අපූරු විග්‍රහයක් කරන්නකි. මෙහි එන ඉහළ තලයේ කෙටි කථාවකි.

මේ කෙටි කථා එකොලසම ඉහළ තලයේ නොවේ ය. ලේඛිකාව ලඝු සහ දිගු කෙටි කථා අතර සංකලනයක් පරීක්ෂණාකාරයෙන් මිශ්‍ර කොට ඇති සේය. එහෙත් ඒ සම්ම්‍රිශ්‍රණය සාර්ථක වන අවස්ථා වැඩි ය. ලෙඛිකාවගේ  කෙටි කථාව පිළිබඳව හොඳ හරස්කඩකි. ලේඛිකාවගේ පාඨක රසික-රසිකාවියන්ගේ  සැල්කිල්ල ට බඳුන් විය යුතු කෘතියක් වන්නේ, ඇගේ නිර්මාණාත්මක උපරිමාලක්ෂණ මෙන්ම ඇගේ, ලේඛණ හිතුමතයන සහ ඒ ඔස්සේ නිරාවරණය වන දුර්වලතා ද මතු වන සංග්‍රහයක් හෙයිනි.

මේ "මිශ්‍ර මල්ල" ට බාහිර ව ලේඛිකාව ට එක් චෝදනාවක් කරමි. ඒ ඇගේ චරිත වල නම් පිළිබඳ සැලකිල්ලක් නොකර තිබීම යි. ක්ලෙමෙන්ටිනා පිටු කිහිපයක ට පසුව වැලෙන්ටිනා ය. ප්‍රභාකරන් පුතා පිටු කිහිපයක් ගත වෙද්දි, රවි බවට වෙනස් වී ඇත. මෙවන් අත්වැරදීම් නම් පාඨකයාගේ නොරිස්සීමෙන් ඔබ්බට ගොස්, ප්‍රවීණ ලේඛිකාවගේ වෘතීය තත්තවයට නුසුදුසු බැව් නම් නොකියා ම බැරි ය.



No comments:

Post a Comment