ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය සමඟ වැඩි සබඳතාවක් ඇති, එහි වෙසරදයෙකු ලෙස සැලකෙන බර්ට්‍රම් නිහාල්, තම ප්‍රථම කෙටි කතා එකතුව ලෙස "තහනම් ගහේ ඇපල්" ලියා පළ කරන්නේ, පසුගිය වස හොඳම කෙටිකථා එකතුව වෙනුවෙන් පිරිනැමෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය ට නිර්දේශ ලැබීමට වරම් ලද්දේ ය. කෙටි කතා දහයකින් සැදි මේ එකතුව සමස්තයක් ලෙස යථාර්තවාදි රීතිය ඉක්මවා යෑමේ නැඹුරුතාවක් පෙන්වයි. මට මෙම කෙටි කතා සම්ප්‍රදාය මතක් කලේ මීට වසරකට පමණ පෙර මා කියවු "වයඹ දිග වැසියකුගේ දින සටහන්" (ප්‍රභාත් ජයසිංහ ) කෙටි කථා එකතුවයි. මෙම රීතිය තමනට කීමට ඇති බොහෝ දෑ, නිර්මාණාත්මකව, ප්‍රබන්ධයක් තුලින් ඉදිරිපත් කිරීමට අවකාශ ලබා දේ. බැලු බැල්මට "අරගොලන්ගේ" නැතිනම් "මේගොලන්ගේ", පැත්තට "කඩේ යනවා" යන අවලාදාත්මක ප්‍රකාශ වලින් විනිර්මුක්තව, සාපේක්ෂ වශයෙන් පිටත සිට යමක් නිරීක්ෂණය කරනා ඉරියව්වක් පිළිඹිබුවට මෙම රීතිය ඉතා උචිත ය.
මෙහි එන "විනෝදපාල" කෙටිකථාව සැලකුවහොත්, දේශපාලන සාර්ථකත්වයට කෙටිම මග, මුලින් අන් මාර්ගයකින් ජනතාව දිනා ගැනීම පෙන්වන කෙටි කථාවකි. අප රට ගායක-ගායිකාවන්, නළු-නිලියන් මහජන ඡන්දයෙන් පත් වීමේ ප්‍රවණතාව දුටු විට මේ කෙටිකථාව, විනෝදපාල-විනෝදපාලිකා ලා ට අපිව පාලනය ට රුකුල් දෙන අපට, ඉතා යෝග්‍ය කෙටි කථාවකි.
"නසරානියා" පාඨකයා මදක් ගැඹුරින් සිතීමට පොළඹවන ආකාරයේ කෙටි කථාව කි. හරි-වැරැද්ද, පිය-පුතු සබඳතාව, අයෙක් සැමදාම නිවැරදි විය හැකි ද ආදි කාරණා පිළිබඳ පාටහකයන් සිතීමට පොළබවයි.
"ජීවයාගේ ආත්ම ජාලය" කෙටි කථාව අන් මානයක් වෙතින්, අප කුඩා බව, අප දකින අසාධාරණය යන්න, ඊට වඩා පුළුල් තලයක් තුල එසේ අර්ථ ගැන්වෙන්නේ නැති අයුරු , අපූරු නිර්මාණයක් ඔස්සේ නිරූපනය කරයි. මෙහි එන සර්ථක නිර්මාණ වලින් එකකි මෙය.
"අළුකොබෙයියා" ද දේශපාලන කෙටිකථාවකි. බලකාමය, මමංකාරය, නිලධාරීන්ගේ මුග්ධබව ඔස්සේ පාලකයින් තව තවත් මමංකාරය උග්‍රස්ථානයට පිවිසීම ආදි කාරණා ඉතා සාර්ථකව නිරූපිතය.
"තහනම් ගහේ ඇපල්" ආදම්-ඒව ඉතිහාසය සාර්ථකව වර්තමානයට ගලපවා ඇත. අප වසන සමාජයේ ස්ත්‍රිය ට අත්වන ඉරණම, තම ජන්මය හා බැඳි ඇති අයුරු, පාඨක සිත කොනිත්තන අයුරකින් ලියා ඇත.
මෙහි එන "යකාගේ කතවක්" හාස්‍ය මතුකරන අතර, මිනිසෙකු සිහිනයක් තුල කරනා ගණුදෙනුවක දී තම බිරිඳ ගේ හෝ තමාගේ ජීවිතය පරදුවට තබන ගූඪ ස්වභාවයකුත්, අවසන් මොහොතේ තම දිවිය, තම බිරිඳගේ නුරුස්සන ගති ඔස්සේම රැකෙනා බවක් ද ගම්‍ය කරවයි. හොඳ නිර්මාණයකි. - මෙහි එන කෙටි කථා අතරින් වඩාත් සාර්ථක නිර්මාණයකි.
දාර්ශනික අදහස් සහ දේශපාලන අදහස් අතර පෙරළුණු කෙටිකථාවට රහස් පරීක්ෂක සහ ත්‍රාස රසයක් ගෙන දෙන "හෘද සාක්ෂිය" නම් කෙටි කථාව මෙහි විවිධත්වය වැඩි කරවයි.
බල කාමය සහ කාමයේ බලය අතර සිත් ගන්නා සුළු අරගලයක්, ඉතා සංයමයෙන් යුතුව ගොඩ නැගුණු අවස්ථාවක් ලෙස "කයි තුවක්කුව" හඳුන ගත් හැකිය. මෙය ද දාර්ශනික අදහස් අතරට පාඨකයා ගෙන හැර යාමට සමත් නිර්මාණයකි.
වර්තමානයේ පිරුහුණු දේශපාලඥ්ඥයා ස්ත්‍රි දුෂණය ආදි මහත් අපරාධ කරමින් වැජඹෙති. යකෙකු ඔහුට දෙවෙනි බවට අඟවමින්, වර්තමාන දේශපාලනය පිළිබඳ කියවීමක් රැගත් "මිනිහා වැහුණු යකා" කෙටි කථාව මෙහි එන අවසන් කෙති කථාවයි.
විටින් විට දේශපාලනික සිදුවීම් එබි කම් කරයි, නුමුත් ඒ කෙටි කථාවට මෝස්තරයක් වන ආරකට ය. පෞද්ගලිකව මා වඩාත් මනාප නිශ්ශංක විජේමාන්නයන්ගේ කෙටි කථා වලට ය. මෙහි සමහර කථා විජේමාන්නයන් සිහි ගන්වයි. එහෙත්, ප්‍රභාත් ජයසිංහගේ කෙටි කථා වල ආරක් ද ඇත. දුර්වල කෙටි කථා නැති ම තරම් ය.මා සාපේක්ෂ වශයෙන් අඩුවෙන් රස වින්ද කෙටි කථාව වනුයේ "අළු කොබෙයියා" නම් වූ කෙටි කථාවයි. වෙනස් ආරක, නැවුම් ස්වභාවයකින් හෙබි රසවත් කෙටි කථා එකතුවකි. අයෙකුට කියවීම උදෙසා නිර්දේශයට, නොපැකිලෙමි.
No comments:
Post a Comment