Saturday 14 November 2015

බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය



2014 වසර සිංහල නවකථාවට යහපත් වසරෙකි. රන් කරඬුව , මහාසාමි, මේ රහස් කවුළුවෙන් එබෙන්න, ඇදහිය නොහැකි නිහඬතාව ආදි යම් නැවුම් ගතියක් ඇති, අපූරු කෘති සතරක් ම කියවූවෙමි. අනතුරුව, සේන තෝරදෙනිය ලියූ "බණ්ඩාර මැරූ උන්" කෘතිය කියවූ කල, එය ද සුවිශේෂි කෘතියක් බව පෙනී ගියේය. ( බණ්ඩාර මැරූ උන්, 2014 දී ප්‍රකාශ වූ මා කියවීමට තෝරා ගත් කෘති 13න් දසවැන්නයි - උං ගියාදෙන් මේ දින වල කියවමි; තරු සමුදා හා දෛව කියවීමට ඉතිරිව ඇත ). මීට පෙර මෙතරම් අනගි කෘති රාශියක්ම ප්‍රකාශ වූ වසරක් වූයේ නම් ඒ 2010 දී විය යුතුය ( ඒ වසරේ කළු, බුද්ධදාසි හා කන්දක් සේ මා යන කෘති ත්‍රිත්වය ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ විය - අවසන් පූර්ව වටය ගැන මතකයක් නැත ).
බණ්ඩාර මැරූ උන් සුවිශේෂි ඇයි ? අයෙක් සිතිය හැකි ලෙස එය එක් සම්මානයක් දිනීම නිසා නොවේ (කිමද අපි සාමාන්‍ය පාඨකයන් පමණක් වුවද, අප රට කුමක් හෝ සාහිත්‍ය සම්මානයක් ජය ගැනීම එම කෘතියේ විශිෂ්ඨත්වයක් ගැන කියා පාන්නක් නොවන වග මේ වන විට අප ට ද පැහැදිලිය.) එහෙත් මේ වසරේ අප රට ප්‍රධාන සාහිත්‍ය සම්මාන හතරේම අවසන් වටයට තේරුනු එකම කෘතිය "බණ්ඩාර මැරූ උන්" වීමෙන්,විවිධ වූ විනිශ්චය මණ්ඩල පවා එහි යම් අපූර්වත්වයක් දුටුවා සේය. තෝරදෙනිය තම නවකථාව පාඨක අවදානය යොමු කරනා දිශානති රාශියකි. ඔහුගේ පිටු 500ක නවකථාව මේ දිශානති ඔස්සේ විහිදි ගිය ප්‍රධාන ආඛ්‍යායනය සහ අනු-ආඛ්‍යායන සියල්ලෙහි එකතුවකි. නුමුදු සියුම්ව නිරීක්ෂණ කල විට මේ සියළු ආඛ්‍යායන සහ අනු-ආඛ්‍යායන වල සම්ප්‍රයුක්තය අපිට තව එක් අනු කථාවක් කියාපාන බව මට නම් සිතෙයි. මොනවා ද මේ කියනා ආඛ්‍යායනය, අනු-ආඛ්‍යායන හා සමස්තය කියා පානා වෙනස් ම කථාව ?
අපිට ප්‍රධාන ආඛ්‍යායනය ලෙස ගිරිදේව නම් චිත්‍රශිල්පියාගේ හැලහැප්පීම් මැද ගෙවී ගිය ජීවිත කථාව හැඳින්විය හැකිය. ඔහුගේ ජන්ම කුශලතාව, යමක් කමක් තිබෙන පවුලකට උපත ලැබුවද රටට නැති වී යාමට ඉඩ තිබිණි. ඔහුගේ එම කුශලතාවට ලැබිය යුතු ම ඒ පිළිගැනීම පමණක් නොව, ඔහු වුවද ඒ සඳහා කැපවීමක් යොදවන්නේ අවුරුදු තිස් දෙකකුත් ඉකුත් වූ පසුව විය යුතුය. සැබෑ ලෝකයේ මෙවන් ගිරිදේවලා කී දෙනෙක් අප ට අහිමි වී යනවා ඇති ද? කතුවරයා පාඨකයා තුල ඒ පැණය මතුවීමට වටපිටාව සාදයි. ඇත්තෙන්ම රතු මහත්තයා, පොඩි දේව හා තේනි නැතිනම්, ගිරිදේව ගේ කුසලතාව ලොව දකින්නේ නැත. කිමද ගිරිදේව යනු, ඉවසීමේ සීමාව ඉතා කෙටි වූත්, සමාජය හා ගැටීම් ඇති කරගන්නා වුවද, තමනට යම් ස්නේහයක් ඇති අය හැකි තාක් ඉක්මනට ඈත් කරගැනීමට සමත් වූ ද අයෙකි. කතුවරයා ගිරිදේව යන චරිතය සම්පූර්ණයෙන් ම අප හට ඉදිරිපත් කරන්නේ, කෘතිය අවසන වන විට ඔහුගේ අඩුපාඩු පිළිබඳ අපට ද වැටහීමක් ඇති කරමින්, අන් අය හා විසීමට නොදත් උත්කෘෂ්ඨයකු පිළිබඳ යම් අනුකම්පාවක් උපද්දවමිනි. ඇත්තෙන්ම ගිරිදේව යනු අප ට මෙම වසරේ සාහිත්‍ය හරහා මුණ ගැසෙන්නට වූ දම්සරණි, ඒකනායක සුමංගල ගණින්නාන්සේ තරමට ම අපූරු වූ චරිතයකි.
කතුවරයා තම කෘතිය ගිරිදේවගේ චරිතය සම්පූර්ණයෙන් ම පාහේ ඉදිරිපත් කොට ඉන් නොනැවති, තවත් චරිත කිහිපයක් සැලකිය යුතු මට්ටමකින් සවිස්තරව පාඨක අපට හඳුන්වා දෙයි. රතු මහත්තයා වන් ඉච්ඡාභංගත්වයට පත් ව අද වන විට ඩයිනෝසර් වර්ගයක් තරම් විරළ ඇත්තෙන්ම අවංක සමාජවාදී දේශපාලකයන්, ලෝකය ජයගත් එහෙත් ජීවිතය පැරදුනු වෛද්‍ය ටී.බී. වටපාන වැන්නන් හා නූතනත්වයේ මතවාද ඇති, ස්වාධීන ඒ වාගේම යම් සීමාවක් තුල තමනට අවංක තේනි වන් ස්ත්‍රීන් සහ යම් අරමුණක් ළඟා කරගනු වස් ඕනෑ ම දුරක් යාම ට නොපසුබසිනා මෞලිමාලා වන් ස්ත්‍රීන් ආදි එකිනෙකට වෙනස් චරිත කිහිපයක් ඔවුනොවුන්ගේ දිවි ගමනේ යම් යම් අවස්ථා නිරූපනය කරමින් සවිස්තරව ඉදිරිපත් කර ඇත. මේ පොත කියවූ සමහරුන්, නවකථාව එක් එක් දිශානති ඔස්සේ නිදැල්ලේ සහ ඉබාගාතේ යන බැව් ද, තවත් අයෙක් කෘතිය තුල යම් ව්‍යාකූලත්වයක් නිරූපනය වන බව ද කියති. එහෙත් මා පෞද්ගලික්ව එවන් දොසක් නොදකිමි. ලෝක පූජිත යුද්ධය හා සාමය වන් නවකථා වේවා, ඊට මෑතක ජාත්‍යන්තර සම්මානයට පත් වූ "The English Patient" , "The Gold Finch", "The Luminaries" ආදි කෘති වල වේවා ප්‍රධාන ආඛ්‍යානය ට අමතරව ඊට ස්පර්ශකව එහෙත් යම් තාක් දුරකට වෙනත් දිශා ඔස්සේ දිවෙන අනු-ආඛ්‍යාන කෙතෙරම් වෙත් ද ?
තෝරදෙනියගේ ස්පර්ශක නිර්මාණය කොට ඇත්තේ චරිත ඔස්සේ වුවද, ඔහු තම නවකථාව ඔස්සේ සාකච්ඡාවට මතු කරන අන් කාරණා කිහිපයකි. චිත්‍ර ශිල්පය හොඳින් විෂය කර තම නවකථාව තුල මෙතරම් ඉදිරිපත්කර කල හැක්කේ එම ශිල්පය පිළිබඳ යම් දැනුමක් ඇත්තෙකුට පමණකි - මුඛ්‍ය ආඛ්‍යානයට ඍජු විෂය බැවින් ඒ පිළිබඳ යම් විස්තරයක් නවකථාව තුල තිබීම උචිත ය. හැත්තෑව දශකයේ වමේ දේශපාලනය හා ලංකාවේ සමාජවාදි කඳවුරේ කඩාවැටීම, අප රට මැද-පාන්තික බුද්ධිමතුන්ගේ දේශපාලන අපරිණතභවය, විවෘත ආර්ථිකය නිසා සිදු වූ අප රට ජීවන ක්‍රමයේ වෙනස් කම්, දරුවන් පිට රට පදිංචියට යෑමේ ප්‍රවණතාව හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ ඉරණම, බුද්ධ ධර්මයත් ඉන්ගිලිස්යෙන් ඉගෙනීමට තරම් රට පුරා උඩු දුවා ඇති ඉන්ගිලිසි උණ ආදි වශයෙන් අප රට වර්තමාන සමාජ ප්‍රවණතා පිළිබඳ නවකථාවේ සන්දර්භය තුල සාකාච්ඡාවට බඳුන් කොට ඇත. මගේ කියවීම හරහා නම් මේ ලිවීම් ද කෘතිය ව්‍යාකූලත්වයකට ගෙන ඒමක් ලෙස නොදකිමි.
නිදසුන් ලෙස 376-377 පිටු හරහා දිග හැරෙන මේ කොටස් දෙස බලන්න:
"...සාම්ප්‍රදායික ගමනාන්තය වූ එන්ගලන්තය නොව, එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අලුත් ගමනාන්ත වීම නිසා අද සාමාන්‍ය පහළ පන්තියේ පවුල්වල අයට පවා සිය දරුවන් අධ්‍යාපනය සඳහා පිටරටවලට යැවීමට හැකි වී තිබේ. රුසියාව, චීනය, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, සිංගප්පූරුව, ජපානය යන රටක යන දරුවකුගේ ආපසු ගමන ගැන සහතික කළ හකි වුවද ඔවුන් ආපසු පැමිණ බටහිර රටකට සංක්‍රමණය වීමට කටයුතු කරති.... මවගේ හෝ පියාගේ උපන්දිනයට කොළඹ හෝටලයකින් අන්තර්ජාලය මගින් බ්‍රැන්ඩි පිරි කේක් ගෙඩියක් එවන දරුවෝ යුතුකම් ඉටු කළා යයි තුටු වෙති. තවත් හාස්‍යජනක දෙයක් වන්නේ සිංහල අවුරුද්දට මවට හා පියාට මහ හෝටලයකින් බත් කෑමට වව්චරයක් එවීමයි. ඔවුනට හෝටලයට යන්ට වෙන්නේ පයිනි. තවත් සමහරු මෙරට ඩොට් කොම් සමාගමකින් කුණු වූ පලතුරු පැසක් එවා තුටු වෙති.... අපේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට දරාගත නොහැකිව ඇත්තේ දරුවන් අහිමි වීමේ ශෝකයයි. මේ දරුවන් සිය දරුමුණුබුරන් ගැන උදම් ඇනුවද, ඔවුන් ඇත්තේ පිටකරගත නොහැකි ශෝකයකිනි. ඒ ඒ රටවලට යන මව්වරුන්ට සිදුවන්නේ ආයම්මාගේ , නැනීගේ ගෝ නිවෙස්වල කුස්සිඅම්මලගේ රාජකාරියයි. ඔවුහු සීතලේ ගැහෙමින් වෙවුලති."
මේ පැවසෙන්නේ, මෙය ලියන මා පුත්‍රයෙකු වශයෙන් ද , සමහර විට කතුවරයා පියෙකු වශයෙන් ද, එහෙත් අනිවාර්යයෙන් තව ලක්ෂ ගණණක ශ්‍රි ලාංකිකයින් දරුවන්-මවුපියන් වශයෙන් මුහුණපානා, ඒත්, පිළිගැනීමට මැලි සංවේදි කාරණාකාරනා ගැන ය. කතුවරයා මෙය හුදෙක් සමාජ විචාරයක් නොකොට පරිපූර්ණ ලෙස නවකථාව තුලට බද්ධ කිරීම තුල ය ඔහුගේ නිර්මාණාත්මක බව සහ සමාජමය ගැටළු පිළිබඳ සංවේදි බව පවතින්නේ.
"බණ්ඩාර මැරූ උන්", මෞලමාලි සහ හුදෙකලාව: මෞලමාලා, ගිරිදේව හා බැඳෙන්නේ ඇයි ? දැනුමින් හා රසාස්වාදයෙන් ගිරිදේව හා සමතැන් නොවෙසෙනා මෞලිමාලා, ඔහු ඉවසන්නේ ත්, ක්‍රමක්‍රමයෙන් ඇයගෙ නොනිත් උත්සාහය මත්තෙන් ඇය හා බැඳෙන්නේ ත් ඇයි ? එසේ තම ග්‍රහණයට නතුකර ගත් ගිරිදේව ව, "ජීවිතේ මල් - ලෙස්ලි ඉන්නකල්" , "අපි දෙන්නා අතරෙ එහෙමත් වැඩිපුර දෙයක් තිබුණෙ නෑ නේ" ආදි වශයෙන් සම්ච්ඡලයට පත් කොට ඈත් කිරීමට පෙළඹෙන්නේ ඇයි ? මෞලිමාලා ගිරිදේව තම උවමනාවන් උදෙසා ඉත්තෙකු ලෙස භාවිත කල බව පැහැදිලිය. යම් ගැටළුවක් වෙතොත් එය ඇත්තේ, ඇයි ගිරිදේව ම තෝරා ගත්තේ යන්න අපැහැදිලි වීම මතය. පොල්ගොල්ල වේල්ල නම් වූ අවසන් පරිච්ඡේදය කෙටිය. එහි විස්තර මදය. බොහෝ කරුනු පාඨකයා ට සිතා ගැනීමට ඉඩ හැර ඇත. එහෙත් නිල් පාට ජීප් රිය, මෞලිමාලා එදින ලේවැල්ලේ ගෙදර නොසිටීම ( ගිරිදේව එන්නේ ඇය හමුවීමට ය - හමු වී ඔහුගේ අලුත් නවකථාවේ ඇගේ චරිතය ගැන කථා කිරීමට ය ), ඔස්සේ මේ වන ගිරිදේව ගේ ඉරණම ඉතා සියුම්ව තීරණය වී ඇති බවක් අඟවා ඇත. අයෙකුට මෙම අවසානය ප්‍රිය නොවිය හැකිය ; එය සාපේක්ෂ කාරණාවක් යැයි සිතමි.
මා ඉහත මේ කෘතියේ සම්ප්‍රයුක්ත වශයෙන් කියවෙන කථාවක් ගැන පැවසූවෙමි. ඒ ගිරිදේවගේ ඉරණම, වටපානගේ ඉරණම, තේනිගේ ඉරණම, පොඩිදේවගේ ඉරණම හා රතු මහත්තයාගේ ඉරණම ඔස්සේ අප ට හඬගා කියනා කථාවයි. මොවුන්ගේ ඉරණම් ලියැවෙන්නේ බොහෝ මෑතකය. එනම් ඔබත් තම ජීවිත පිළිබඳ තීන්දු තීරණ ගන්නා මෑතකය. මේ අප බොහෝ දෙනෙකු, අප ගැන, අප දරුවන් ගැන, තීන්දු තීරණ ගැනීමට පැකිලෙන යුගයකි. අප රට එන්න එන්න ම තදබදයෙන් පිරුණු, තරඟකාරිත්වය ඉහවහා ගිය, දෙමාපියන් විසින් දරුවන් ව රටින් පිටකරන්න ට පොළඹවන, බොරුව රජයන රටක් වී ඇත. අද අපේ මිනිස්සු දහම් පාසැල් යන්නේත් ඉන්ගිලිස්යෙන් බුද්ධාගම ඉගෙනීමට ය. තනි වචනයකට ලඝු කරන්නේ නම්, අප ජීවිත ඉතා ව්‍යාකූල වී ඇත. එසේ කියා ඉන් ගැලවීමක් නැත. මේ සමස්ත ඉරණම් ඔස්සේ තෝරදෙනිය පෙන්වා දෙන්නේ වත්මන් සමාජයේ ව්‍යාකූලත්වය, කුඩා හැළියක් වන් අප නගර-උප්නගර වලින් පිටාරගලනා තදබදය හා තරඟය, ව්‍යාජයත්වය හා එසේ හැසිරෙන අතරම, එක් එක් පුද්ගලයා වශයෙන් මෙයට පිලියමක් සිතා ගැනීමට නොහැකිව පෙළෙනා අසරණභාවයයි. අප සමාජය තුල වූ ස්වභාවික අලංකාරත්වය මතට යම් ඔරොත්තු නොදෙන, එසේත් නොවේ නම් තෙරුම් නොගත් ආගන්තුක ස්වභාවයකින්, සමාජ පරිණාමයකින් ( ආම්ලික දියරක් ඉහිරී ? ) අප පිලිස්සි ගොසින් ද ? මෙය වෙනත් අයුරකින් සීමිත මාතෘකා ඔස්සේ, වෙනත් මානයන් ඔස්සේ කෞශල්‍ය කුමාරසිංහ "මේ රහස් කවුළුවෙන් එබෙන්න" ඔස්සේ ද මතු කලේ ය. එනම් අද ලාංකීය නාගරික හා උප-නාගරික සමාජයේ සමස්ත ගැටළුව මේ ඔස්සේ අප හට දිග හැරෙන බව ලෙස මා විශ්වාස කරමි. මේ ඉහත කී සියළු කාරනාකාරනා හේතුවෙන් මෙය වසරේ සාර්ථකම කෘති අතර ට නම් කරමි.

No comments:

Post a Comment