Monday 8 August 2016

බගන්දරා - එරික් ඉලයප්ආරච්චි

එරික් ඉලයප්ආරච්චිගේ තුන්-ඈදුතු නවකථාවේ පළමු පොත, "බගන්දරා" නැවත කියවුවෙමි. ඒ වසර සතරක ට පසුව යි. එක්තරා දිනෙක පාන්දර නැගිට කුසුමාවති ඉස්කෝලේ හාමිනේ ළමුන්ගේ අභ්‍යාස පොත් බැලීම සහ , සිමියොන් උදයේ  තේ කඩේ බොයිලේරුව ට පොල් කටු අඟුරු දමන අවස්ථාවක සිට දිගැරෙන මේ නවකතාව, මේ කියනා වකවානුව එනම් හැටේ දශකයේ අග බාගයේ සිට, සැත්තෑව දශකයේ මුල් බාගය දක්වා පමණ වූ කාල පරාසය ට පාඨකයාව ගෙන යාමට සමත් වේ. නවකථාවේ ආඛ්‍යායනය එතරම් ම බලවත් ය. පිටු 380ක් පුරා දිගැරෙන ආඛ්‍යායන හදිසියෙන් තොරය. එහි ඉදිරියට ගලායාම කාල‍ය ට ඔබින ලෙසය ( මීට සාපේක්ෂව වේගවත් ආඛ්‍යායන ස්වරූපයකින් හෙබි මෙහි දෙවෙනි කොටස වන "විතණ්ඩ සමය", අසූව දශකයේ රටේ වෙනස්කම් සිදුවන වේගයට අනුගතව, වේගයෙන් ගලා යයි - සෙස්ස පසු දවසක ට ).

මවක් (කුසුමාවති ) සහ පියා (සිමියොන්) අතර ඇතිවන අඩදඹර, පියා ගේ අකර්මන්‍ය දිවි පෙවෙත සහ දේශපාලන පුරුෂාර්ථ වල සිර වී සිටීම, තම බිරියගේ පුරුෂාර්‍රථ සමඟ ඇති වන ගැටීම්, පිය පුතු ගැටීම්, රාජකාරිය ගැන පමණක් තකන, එක් දරුවකුට වෙසෙසින් සලකන අන් දරුවන්ට සිදුවිය යුතු යුතුකම් වගකීම් පැහර හරින මවක්, නිදැල්ලේ කාගෙන් හෝ සරණක් නොමැතිව හැදෙනා බාල දරුවන් - යන කූටූම්භ වටපිටාවක් මවා ගන්න. ඊට නාගරීකරණය නොවූ. එහෙත් නගරයට ආසන්න ගම්මානයක් ( මහිමගොඩැල්ල, මීගමුව ) මවා ගන්න. වෙනස්වීම ඉතා මන්දගාමී වූ යුගයක, මෙම දෙපළගේත්, ඔවුන්ගේ දරුවන්ගේත්, ළඟම ඥාතීන්ගේත් හැල හැප්පීම් ඇති ජීවිත, රටේ දේශපාලන අතීතය හා බද්ධ වැ ඉදිරියට ගිය අයුරකි, මෙම නව කථාවෙන් දිස්වන්නේ. මීගමුව ආශ්‍රිත අයෙක් නම් මේ කෘතිය වඩාත් රසවිඳිනු ඇත්තේ, මෙහි  එහි අතුරු ගම්මාන වල විස්තර වලින් සුපෝෂිත බැවිනි.

ඒ අතර සාම්ප්‍රදායික ජීවන රටා වලින් අලුත් පරම්පරාව ඈත්ව් වෙමින් ද තිබේ.

"කඩයට එන ගොවියන් කියන්නේ කුඹුරු වැපිරීමෙන් ලාභයක් නොලැබෙන බව ය. සමහරු කුලිකාඅරයින් නැති බව කියමින් කුඹුරු පුරන් කර දමති. ඇළ පාර දිගේ කුඹුරුවලට ලුණු වතුර ගලා එන කතාවක් ද ඇත. සිමියොන්ට අවබෝධ වූ ආකාරයට ඒ කතා සියල්ලට ම වඩා සත්‍යසම්පන්න කතාවක් තිබේ. එනම්, කුඹුරු හිමියන්ගෙන් බොහෝ දෙනෙකු දැන් මහලු ය. ඔවුන්ගේ දරුමුනුබුරෝ ගමේ නැත. වැඩි දෙනෙක් රැකිරක්ෂා කර්මාන්තාදියට කොළඹ යති. ගමෙන් පිට වී ගොස් මහරගම, පිළියන්දල, නාවින්න, කැලණිය, කිරිබත්ගොඩ යනා දී ප්‍රදේශවලින් පර්චස් තිහ හතලිහේ ඉඩම් කට්ටි මිලට ගෙන ගෙවල් තනා පදිංචි වී සිටින ඔවුන්ට ගමේ කුඹුරුවල වුවමනාවක් නැත."

මෙහි එන චරිත රැසකි. ඒ සියළු වරිතයනට පාහේ කතුවරයා සාධාරණයක් ඉටු කොට ඇත. තමන් හා විවාහ වූ පුරුෂයා ට ගරු නොකොට ඔහු පරාජිතයෙක් යැයි හංවඩු ගැසූ කුසුමාවති, කුසුමාවති සමඟ ඇති ගැටීම් සහ තම දේශපාලන අදහස් වලින් අකර්මන්‍ය කර ලූ සිමියොන්, මවගේ මග පෙන්වීම යටතේ පවුලෙන් ඈත් වී තම දියුණුව පමණක් පතා ඉහළට නෑගීමේ අරමුණෙන් පෙළුණු කුලසිරි සහ විශ්ව විද්‍යාල දේශාපාලනය ඔහුගේ ආකල්ප වෙනස් කර ලූ අයුරු, කිසිදිනෙක මවගේ ආදරයක් නොලත් මද්දුමි සහ බාලයා තනියෙන් තම දිවි තනා ගත් අයුරු, තම අක්කාගේ වචනය අභියෝගට ලක් නොකර තම දිවිය දිය කර ගත් ජයසේන පමණක් නොව, ගමේ අවශේෂ චරිත වූ සෙලෙස්තිනා ආදීන් පවා කතුවරයා ඉදිරිපත් කොට ඇත්තේ, පාඨක සිතේ ඔවුන් බොහෝ කලක් ජීවත් වන අයුරින් ය.

හැත්තෑ එකේ කැරැල්ල, අවධානය යොමු නොකරන දරුවන් තමන් වැඩෙන වටපිටාවෙන් අවසර ලැබෙන පරිදි කෙසේ හෝ වාරු නැති දෙපයින් හෝ නැගිටිනා අයුරු, ස්වභාවික මරණයක ට නියමිත වූ සමසමාජ පක්ෂය ආදි විවිධ අංශ ඔස්සේ කතුවරයා තම ගෙත්තම ගෙනයමින් මෑතකාලයේ නිර්මාණය වූ ඉතාම ඉහළ ම තලයේ නවකථාවක් රචනා කොට ඇත්තේ ය.

මෙය එක් අතකින්, මීගමුව ප්‍රදේශයේ බොදු-කිතුණු මිශ්‍ර සංස්කෘතියක දිවි පෙවෙත් පිළිබඳ විස්තරයක් ය. අනෙක් අතෙන් නාගරීකරණය නොවූ, එහෙත් නගරය අත ළඟ ඇති පෙදෙසක් ඒ නගරය හා සබඳතා තබා ගන්නා අතරම තවම සිය නොයිඳුල් ස්වභාවය රැක ගන්නා අයුරු විදහාපෑම මඟින්, අද වන විට කුමන ක්‍රමයකින් හෝ නවතා තැබිය නොහැකි නාගරීකරණය එ කල ක්‍රියාත්මක වීමේ අඩාලත්වය පෙන්නුම් කරන්නකි.


( මා මේ පොත ගැන මීට ඉහත ඉතා ලඝු සටහනක් කොට ඇත. එහිදී මේ කෘතියට තරු සතරක් දී ඇත. මට වැරදී ඇත. මෙය තරු පහේ පොතකි.)

*****
නවකතා
ගොඩගේ ප්‍රකාශනයකි ( පළමු මුද්‍රණය - 1998 )
  ( මා සතු දෙවෙනි මුද්‍රණය 2004 දී පළ වූවකි)